සොඳුරු පේරාදෙනි සරසවියට පෑයූ තාරකාවක අන්දරය කොටස් වශයෙන් පල වන නව කතාවක් ලෙසින්...

https://www.facebook.com/sarasavisamaga

Monday, July 28, 2014

16. දහසය වන කොටස : අතීත කතාවක්





15. පහලොස්වන කොටස : දෙවි දෙවතාවුන් වැනි මිනිසුන්.... http://sarasavisamaga.blogspot.com/2014/07/15.html

අද පසුබිම් සංගීතයට මොකද වෙලා තියෙන්නේ... මනෝජා තනිවම සිතුවේ තාරුකා ගේ වතුර මලේ සද්දය පමණක් ඇසුණු නිසාය. සින්දු නැත. කෙල්ල කැඩෑවර් දැකල බය වෙලා වත් ද....?

මනෝජා තාරුකා ගේ කාමරයට යන විට චතු එහි ආවා පමණි. දෙදෙනාටම තාරුකා හඬා ඇති බව පැහැදිලි විය. මොකද තාරු.... චතු දිව විත් තාරුකාව බදා ගත්තේ බියෙනි.

තාරුකා මහා හැඳින් ඇඩුවාය. කෙල්ල ගේ හිතේ හයිය දන්නා චතු පුදුමයට පත් විය... මේ ලේසියට පාසුවට අඬනා කෙල්ලෙක් නොවේ.

මොකද නංගි... ඔයා ට කැඩෑවර් කපල අප්සෙට් ද? මනෝජා ඇසුවේ කෙල්ල ගේ අතක් අල්ලාගනිමිනි.

තාරුකාට කතා කිරීමට හැකි උනේ තවත් විනාඩි ගණනක් ඇඩුවා ට පසුවය. කෙල්ල  සබන් කැබැල්ලේ කතාව චතු ටත් මනොජාටත් කීවේ හඬමින් මය. දේවින්ද අයියා තමා සහ තම යෙහෙලියන් වෙනුවෙන් දක්වන දයාව දරාගැනීමට කෙල්ලට අමාරුය.

මනෝජා ගේ මුහුණේ නැගුනේ බැරෑරුම් පෙනුමකි.

නංගි, මම ඔයාට අපේ රැගින්  කාලේ සිද්ද වෙච්ච කතාවක් කියන්නම්... මනෝජා කීවේ කෙල්ල ගේ අතින් අල්ලාගත් ගමන්මය.

අපි ඉස් ඉස්සෙල්ලාම  ඩිසෙක්ෂන්  රූම් එකට ගිය දවසේ ඔය වගේම  අපේ බැච් එකේ ගර්ල්ස් ලා ට මිනී කපලා අත සෝදන්න පාවිච්චි කරපු සබන් වලින් මූණ සෝදන්න කියලා සීනියර්ස්ලා බල කළා. ගර්ල්ස් ලා කීප දෙනෙකුට වමනෙත් ගියා...

ඉතින් අක්කා... මොකද වුනේ...

ඔය දේවින්ද එක පාරටම සබන් ගාන්න බල කරපු සීනියර්ස්ලාට එහෙම බල කරන්න එපා කියලා රණ්ඩු උනානේ.....

ඉතීන්.. දැන් චතුටත් කතාව අසනාකම් ඉන්න බැරිය..

ඉතින්...

ඉතින් අපිට මූනේ සබන් ගාන්න නම්  උනේ  නැහැ ... අපි බේරුනා...  එත්  කොල්ලා  ඒක   නිසා  හොඳටම  රැග්  උනා... ජෙෂ්ට  උත්තමයන්ට අකීකරු උනා කියලා.... පහුවෙනිදා ලෙක්චර්ස් ආවේ දන ගාගෙන වගේ... ඇඟ හොඳටම තුවාල වෙලා...

එත් ඌට ගානක් වත් නැහැ... ආයේ කීප සැරයක් ම සීනියර්ස්ලා එක්ක පැටලුන බැච් මෙට්ස් ල පරිස්සම් කරන්න ගිහිල්ලා...

පවු... තමන් ගැන හිතන්නේ නැතිව අනුන්ට උදවු කරන කෙනෙක්...

කෙල්ලට දැන් හෝ ගා කඳුළු එන්නේය. වෙන කොල්ලෝ තමන් රැග් වූ වාඩුව ගන්නට නවකයන් ට බොහෝ වධ දෙන බව කෙල්ල අසා තිබුණාය.

එකට මේ කොල්ලා... රැග් වෙන අයව බේරනවා...පුදුම කොල්ලෙක්...  

එකයි නංගි මම එක දවසක් ඔයාට කිව්වේ දේවින්ද වගේ කොල්ලෝ මේ යුනිවර්සිටි එකේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් ඉන්නේ කියලා ….. මේක හරි සෙල්ෆිෂ් තැනක් නංගි... තව ටික කාලයක් හිටියාම ඔයාට තේරේවි.. එක ලකුණක් වැඩියෙන් ගන්න ගහ මරා ගන්න තැනක් මේ කැම්පස් එක කියන්නේ.... මේ වගේ තැනක දේවින්දලා වගේ කොල්ලෝ හරි අඩුයි නංගි...

චතු ටත් දැන් මේ අමුතු කොල්ලා ගැන සිතට එන්නේ භක්තියකි.

එදින රෑ තාරුකා තම ලේන්සුවේ ඔතා තිබූ සබන් කෑල්ල එලියට  ගෙන  හොඳින් තෙත මාත්තු කර අලුත් ටිෂු කොලයක එතුවාය. අම්මා අරන් දුන් ඔනික්ස් පාශානයෙන් තැනූ ජ්වෙල්රි බොක්ස්  එක විවර කල කෙල්ල සබන් කෑල්ල එහි දමා පියන වසා නැවත එය තම ලාච්චුවට  දැමුවාය...

ඔයා දුන්න තෑග්ග  මම මගේ ජීවිතේ වගේ පරිස්සම් කරනවා දේවින්ද අයියා... කෙල්ල සෙමින් මිමිණුවාය.

පවු තාරු... ..ඇඳේ දිගාවේ අඩ නින්දේ උන් චතුට  තම මිතුරිය කරන දේ දැක දුක සිතුණාය.

 
******************************************

තාරුකා  බලා සිටියේ  මනෝජා අක්කාව තනියම අල්ලා ගන්නට හැකි වේලාවකි. කෙල්ලට  තමා ගෙන් අසන්නට වැදගත් දෙයක් තිබෙනා බව  මනෝජාටද තේරී තිබුණි. මනෝජා ගේ කාමරයේ වාසය කරනා මිතුරිය ගෙදර ගොස් ය. රෑ කෑමෙන් පසු  මනෝජා තාරුකාව තම    කාමරයට එක්කාගෙන   ගියේ ඒ තාරුකා සමග නිදහසේ කතා කිරීමටය

පොඩි ඕපාදූප කතා දෙක තුනකින් පසු කෙල්ල මනෝජා ගෙන් මෙතුවක් වෙලා අසන්නට සිටි ප්‍රශ්නය ඇසුවාය..

දේවින්ද අයියට අක්කා කෙනෙක් .... තාරුකා හොර ගල් අහුලයි...

අක්කා කෙනෙක් නම් ඔයා ඉන්නේ.... කෙල්ල ගේ හදවත මොහොතකට නැවතුණි...

නල්ල අක්කා..... පවු........... කොල්ලව නැති කළා... …

තාරුකාට ප්‍රශ්නය ඉවර කිරීමටවත් නොදී මනෝජා කීවේ දැඩි නොපහන් කමකින් බව කෙල්ලට තෙරුනාය...

එතැන් සිට පැයක පමණ කාලයක් මනෝජා දේවින්ද ගේ ආදර කතාව තාරුකාට කීවාය.
 
***********************************


දේවින්ද කොලඹ ඉපදී එහිම හැදී වැඩුනෙකි. පිරිමි දරුවන් ම හතරදෙනෙකුගෙන් සැදුනු පවුලක දෙවැනියාය. ඔහු ගේ පියා ආණ්ඩුවේ ලිපිකරුවෙකි. දේවින්ද ගේ අම්මා, තාත්තා ගේ තනි පඩියෙන්  පිරිමි දරුවන් හතර දෙනෙකු හැදුවේ අන්තිම අමාරුවෙනි.

ඔවුන් හට අග හිඟ කමින් අඩු නැත. එහෙත් කුඩා කල සිටම අම්මා තම දරුවන් ට කියා දුන්නේ සල්ලි හම්බ කරන්න පුළුවන්, නැති වෙච්ච ආත්ම ගව්රවය හම්බ කරන්න බැහැ කියාය.

අම්මා සහ තාත්තා හැම විටම දරුවන් ට කියා දුන්නේ අවංක කමේ වටිනාකමය. තනිව නැගිටීමට ඉවහල් වන ආත්ම ශක්තිය ගැනය. හිතට එකඟව ජීවත් වන විදියය. අහල පහල කිසිම කෙනෙකු තමන් හැදු කොල්ලන් හතර දෙනා ගැන නරකට වචනයක් වත් කතා නොකරන බව දේවින්ද ගේ මව දනී.

ඇයට තම පුතුන් ගෙන් ඕනැත් මිල මුදල් නොව කාගෙන්වත් කතාවක් අහගන්නේ  නැතිව ජීවත් වීම පමණය.

නැති බැරි කම් නොබලා කොල්ලා ඉගෙන ගත්තේය. කොළඹ ප්‍රධානම  පිරිමි විද්‍යාලයක අධ්යාපනය හදාල දෙවින්ද ප්‍රථම උත්සාහයෙන්ම උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දන්ත වෛද්‍ය පීටයට ඇතුලත්වීමේ වරම් ලබාගත්තේය.

එපමණක් නොව දන්ත වෛද්‍ය පීටයට ඇතුලුවීම සඳහා දිවයිනෙන්ම වැඩිම ලකුණු ලැබූ සිසුවා ලෙස මහපොළ කුසලතා ශිෂ්‍යත්වයක් ද දිනාගතේය. දන්ත වෛද්‍ය පීටයේ දී ද ප්‍රථම වසර කණ්ඩායම් ප්‍රථමයා වුනේ ද දෙවින්දය. අම්මටත් තාත්තාත් කොල්ලා ගැන ගොඩාක් ආඩම්බරය.

නවකයෙක් ව සරසවි පැමිණි දින සිට, පෙම්වතියන් නිසා තම ජීවිතය සංකූලතාවයට පත් කර ගත් සිසුවන් බොහෝ දෙනෙකු ගැන ජෙෂ්ට සිසුවෝ දෙවින්දලාට  දෙසා වදාළහ.

එක්කෝ විරහ වේදනාය. තමන් කැමති දෙය නොව තම ආදරවන්තිය කැමති දෙයම කිරීමට සිදුවූ අවාසනාවන්තයෝය.

ක්‍රීඩාවකට, නාට්‍යයකට, සංගීත  සැන්දාවකට සහභාගී වීමට තම පෙම්වතියගෙන් "අවසර " ලබා ගතයුතු වූ "ගෑනු බාලයෝ" .  
නැත්නම් සැමදා සවස තම පෙම්වතිය  සමග ගතකිරීමට ඇගේ නේවාසිකාගාරය වෙත  පැමිණීමට අණ ලැබූ  "සදා නාදන් " ලා ය. නාදන් යනු, කාන්තා නේවාසිකාගාරයක් වූ රාමනාදන් සාලාවයි. සැමදා  සවසට නාදන් යන සිසුවෝ  “සදා  නාදන්” යන නම්බු  නාමය  ලබති.

ජෙෂ්ට  සිසුන්  පෙන්වා දුන්  පරිදි  සරසවි ආදරවන්තයෙකු ගේ අවාසනා සහගත  ඉරණම අත් විදින්නට  දේවින්ද  තුල කැමැත්තක් නොවිණිඒ වෙනුවට  කැමති තැනක කැමති වෙලාවට යන්නට එන්නට, තමා කැමති ක්‍රීඩාවක් කරන්නට, පාඩම් කිරීමේ  හෝ  නොකිරීමේ නිදහස අත් විදින්නට  ඉඩ සලසන  තනිකඩ සරසවි ජීවිතයක් ගෙවා දමන්නට ඔහු   සිතා සිටියේය.

එකල ඔහු  ගෙදර සිට  සරසවි පැමිණෙන්නේ මනෝජා, සංජීව, තුෂානි, මාලතී, අනෝමා, ශාන්ති, ශාමිනී, චන්දන සහ දුෂ්මන්ත වැනි ඔහු ගේ කණ්ඩායමේ යහළු යෙහෙලියන් සමගයි.

පිටකොටුවේ මධ්‍යම බස් නවතුම්පොලින් මහනුවර බසයට ගොඩ වන කට්ටිය සරසවි එන්නේ සිනා සාගරයක් මැදය. කිසි දෙයක් වැඩි ගණනකට ගන්නේ නැතිව, කාටත් උදවු කරමින් සැහැල්ලුවෙන් සිටිනා දේවින්ද ට හැමෝම කැමතිය.

එම  තත්වය  වෙනස්  වුනේ පළමු වාර විභාගය අවසන දේවින්ද වැඩිම ලකුණු ලබා  ගැනීමෙන් පසුවය.

Wednesday, July 16, 2014

15. පහලොස්වන කොටස : දෙවි දෙවතාවුන් වැනි මිනිසුන්....



14. දහ හතරවන කොටස :මගුල් කපුවෙක්
http://sarasavisamaga.blogspot.com/2014/07/14.html







සති අන්තයේ තාරුකා ගෙදර ගියේ චතු සහ මනෝජා අක්කා සමග  බස් රථයෙනි.

තාරුකාව නිවෙසට කැඳවා ගෙන යාම සඳහා රියැදුරු සිරිසේන සමග කාර් එක එවන්නට අම්මා ට උවමනා විය. තාරුකාට අවශ්‍ය වූයේ අනෙකුත් සිසු සිසුවියන් සමග බස් එකේ ගෙදර යෑමටය. එයට අම්මා අකමැති වුවත් තාත්තා කෙල්ලගේ ඉල්ලීමට ඉඩ දුන්නේය

බස් රථයේ හරි අඩකට වඩා සිටියේ සති අන්තයට නිවෙස් බලා යන සරසවි සිසු සිසුවියන්ය. ඒ හේතුව නිසාම එය විනෝද ගමනකට සම වුනේය.

සාමාන්යයෙන් නවක සිසු සිසුවියන් හට ජෙශ්ටයන් සමග එකට ගමන් බිමන් යෑම "නීතියෙන්" තහනම් ය. සමහර ජේශ්ටයො තාරුකා සහ චතූ දෙස රබර් ඇහ දැම්මේ ගෙදර යන ගමනේ නවක සිසුවියන් දෙදෙනාව බ්යිට් වලට ගැනීමටය. එහෙත් මනෝජාත් ඇගේ කන්ඩායම් යෙහෙලියන් වන තුශානි සහ මාධවීත් හරි හරියට තාරුකා සහ චතූ ව වදක උවදුරු වලින් බේරා ගත්තහ.

බස් රියේ සිටි සමහර ජේශ්ට සිසු සිසුවියෝ තාරුකාව හඳුනා ගෙන සිටියේ දෙවින්ද පරිස්සම් කරන කෙල්ල ලෙසය. ඔවුන් හැම දෙනාම තාරුකා වෙත දක්වූයේ සුහද බවකි.
 
*****************************

ගෙදර දී උස්ම නාල්ලා කෙල්ල සරසවි විස්තර පවුලේ අයට කීවාය.

දේවින්ද අයියා යන නම බොහෝ තැන වල දී පාවිච්චි වනවා අම්මට සහ තාත්තාට තේරුණි.

එහෙත් ඔවුන් ඒ ගැන කෙල්ල ගෙන් ඇසුවේ නැත… සරසවි  නවක වධය ගැන තාරුකා ගේ අම්මත් තාත්තාත් හිටියේ බියකිනිකෙල්ල අතුරු ආන්තරාවක් නැතිව සන්තෝසෙන් සිටිනවා නම් එච්චරය..

සඳුදා උදේ කෙල්ලගේ හිතට හොඳ නැහැ වගේය. අද සිට දේවින්ද අයියා  දහවල් ආහාරය සඳහා වෛද්‍ය පීට කැන්ටිමට නොඑන බව කෙල්ල දැනගත්තේ ගිය සිකුරාදාය.

වෙනදාට තමාට කලින් ඇහැරෙන තාරුකා තවම ඇඳටම වෙලා ඉන්නවා දුටු චතු පුදුම විය. ඒ එක්කම ගිය සිකුරාදා සවස කොළඹ යද්දී කෙල්ල දුකින් කියාපු දේ චතු ගේ සිහියට නැගිණි…

මේකිට හොර ලෙඩ.. අද ඉඳන් දේවින්ද අයියා එන්නේ නැහැනේ මෙයාව පරිස්සම් කරන්න …. සිනා සෙමින් තාරුකා ගේ ඇඳ ලඟට ගිය චතු උරිස්සින් සොලොවා කෙල්ලව ඇහැරෙව්වාය.

තාරු… අද ෆැකල්ටි යන්නේ නැද්ද? ….ම්ම්ම්ම් අද යන්න බැහැ වගේ චතු…

පිස්සු නැතිව රෙඩි වෙයන් තාරු… කී චතු කෙල්ල ඇඟ මැලි කමින් අවදිවනවා දැක… අද අරය එන්නේ නැති නිසාද … කියා සමච්චලයට ඇසුවාය.චතු ට පහරක් එල්ල කරමින් තාරුකා නාන කාමරය දෙසට පියමැන්නාය…. අපිට කොයින්ද දේවින්ද අයියලා… චතු ගේ හඬ ඈතින් ඇසේ…


වන සිව්පාවන් වැනි මිනිසුන් මැද…
දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත…
ඒ දේවතාවන්, දිව්‍යාංගනාවන්…
මනු ලෝ තලයේ වාසනාවන්….


උදෙන්ම නාන කාමරයට ආ මනොජාට ඇසුණේ වතුර මල යට හිඳ තාරුකා සිහින් හඬින් මුමුණන ගීයයි…
වැඩේ සෑහෙන්න බරපතලයි වගේ….. මනෝජා ට සිහින් සිනාවක් ආවාය.





***************************



එදා දේවින්ද දිවා අහාරය විවේකයට කැන්ටිමට ආවේ නැත. ඒ වෙනුවට ඔහු ගියේ මාර්ස් සාලාවේ කැන්ටිමටය.

දහවල් කෑම වෙලාවේදී  කැන්ටිමට ආ කෙල්ලට වෙනදා දේවින්ද අයියා ඉන්නා තැන දෙස කිහිප වරක් ම බැලුණි. රවුම් මේසයක හිඳ යෙහෙලියන් සමග කෑම ගන්නා විට තාරුකා ගේ  ඇස් වල කඳුළුය.
 
කොල්ලා නැතිව පාලුයි නේද තාරු… සඳුනි පැවසුවේ ඔලොක්කුවට නොවේ… හැගුම් බරවය…
අනේ ඔව් සඳු.. පුදුම කොල්ලෙක්… අපිව කොච්චර හොඳට බලා ගත්තද… කිරි ඉබ්බී කියයි….
 
අනෙක් දැරියන් ටික ද ඔහු නැති පාලුවෙනි. ඔවුනුත් ඔහුට හොඳටම ආදරේය.
 
නවක සිසුවියන් පමණක් සිටි එම මේසයට අනෙක් ජෙෂ්ට ශිෂ්‍යයන් කරදර කිරීමට පැමිණියේ නැති බව කෙල්ලෝ ටික තේරුම් ගත්හ. බලපන් සඳු … අද අපි දේවින්ද අයිය නැතුවත් VIP ට්‍රීට්මන්ට් වගේ.. එකෙක්වත් එන්නේ නැහැ අපට පාට් දාන්න  …..රට ඉබ්බී කියයි…
 
මෙතෙක් දවස් දේවින්ද ළඟ තියාගෙන පරෙස්සම් කල දැරියන්ට අනෙක් ජෙෂ්ටයන් අතක් ඔසොවන්නේ නැති බව තාරුකාට දැන් පැහැදිලිය…
කෙල්ල ගේ සිතට ආවේ දේවින්ද අයියා ගැන මහත් භක්තියකි….
 
****************


මාර්ස් සාලාවේ කැන්ටිමේ සිටි දේවින්දටද පාලුය. කෙල්ලන් ටික නොදැක සිටීම මෙතරම් පාළුවක් ගෙන දෙයි යැයි ඔහුට මින් පෙර සිතුනේ නැත.


මොකද.. පාළුද… යමු ද ඩිසෙක්ෂන්  රූම් පැත්තේ? දේවින්ද ගේ සිත කියවූ  අතුල ඔලොක්කුවට අසයි.
අතුල ගේ හැටි එහෙමය. ඔහු දෙවින්දට සහෝදරයෙකුට මෙන් ආදරේය. එහෙත් කට ඇරියොත් කියන්නේ හිනා යන විහිළු කතාය.


දැරියන් ගේ කාය ව්‍යච්චේද ප්‍රායෝගික පන්තිය ගැන දේවින්දට මතක් වුයේ ඒ වෙලේය.
 
අද නවකයන් හාපුරා කියා කැඩෑවර් කැපීමට පටන් ගන්න දවසයි..
කාය ව්‍යච්චේද රසායනාගාරයේ ට්‍රොලි වල බෙහෙත් කවා කල් තියා ගත හැකි පරිදි සූදානම් කල මල මිනී තබා තිබේ. ඒවාට  කියන්නේ කැඩෑවර්   කියාය.
ප්‍රථම දිනයේ දී  ශිෂ්‍ය ශියාවන් කීප දෙනෙකුට එක කැඩෑවරය බැගින් ලැබේ. එතැන් පටන්, එම කැඩෑවරය පරෙස්සම් කර ගනිමින් එදිනෙදා ට නියමිත පේශිය හෝ උපාංගය කපා ඉගෙනගැනීම සිසු සිසුවියන් සතු කාරියකි.


පළමු දවසේ දී ජෙෂ්ටයෝ බයෙන් සැකයෙන් කැඩෑවර් බලමින් ඉන්නා නවකයන් ට නොයෙක් වද හිංසා කරයි. කෙල්ලන්ට දෙන ජනප්‍රියම වධය වන්නේ සිසුන් කැඩෑවර් කැපුවාට පසු අත සෝදන්න  ගන්නා සබන් කැටය ගාමින් මුහුණ සේදවීමයි.


තමන් ගේ නවක කාලයේ සිදු වූ සිද්දියක් නිසා දෙවින්දට මෙය හොඳින් ම මතකයේ තිබුනේය.


ඉක්මනින් කෑම කෑ අවසන් කල දේවින්ද කැන්ටිමෙන් සන්ලයිට් කෑල්ලක් මිලට ගත්තේය. තම කාමරයට ගෙනගොස් එය දෙකට කැපූ දේවින්ද එක කැබැල්ලක් කොලයක ඔතා සාක්කුවේ දමා ගෙන වෛද්‍ය පීටය බලා පිටත් විය..


දිවා ආහාරය අවසන් වූ වහාම මල මිනී කැපීම සඳහා කාය ව්‍යච්චේද සාලාවට යෑමට සිදුවීම බොහෝ නවක සිසු සිසුවියන් හට බලවත් අප්‍රියාවක් ගෙනදුන් කාරනාවකි.
 
තාරුකා අනෙක් දැරියන් මෙන් කාය ව්‍යච්චේද සාලාවට යාමට බිය වුයේ නැත. ඒ වෙනුවට  ඇය ගේ සිත පුරා පැතිරී ගියේ අනාගත වෛද්‍ය වරුන් ගේ අද්‍යාපනය වෙනුවෙන් තම දේහය පරිත්‍යාග කල මිනිසුන් ගැන මහත් භක්තියකි.
 
වෙන රටවල කාය ව්‍යච්චේදයට ගන්නේ කාත් කවුරුත් නැතිව මල ගිය “අන් ක්ලේම්ඩ් බොඩීස්” ය.
අපේ රටේ මිනිස්සු වෛද්‍ය පීට වලට පැමිණ තමා මිය ගියාට පසු තම සිරුර කාය ව්‍යච්චේදයට ලබා දෙන ලෙස ලියා අත්සන් කරති. ඔවුන් මියගිය පසු දූ දරුවෝ අවසන් කටයුතු වලට පසු දේහය වෛද්‍ය පීටයට බාර දෙති.


ඒ අතින් අපේ රටේ මිනිස්සු කොපමණ කරුණාවන්ත ද.. කොපමණ හොඳද? …. තාරුකා සිතුවේ කාය ව්‍යච්චේද සාලාවට යන අතරතුරේය.


අන්න අන්න කියා සඳුනි තමා අතින් අදිනවා තාරුකාට දැනුනි… හිස හැරවූ කෙල්ල ගල් විය. කාය ව්‍යච්චේද සාලාවේ දැන්වීම් පුවරුව අසල සිටියේ දේවින්ද අයියාය.


දේවින්ද අයියා දකිනා හැම විටම සිතට  නැගෙනා අසීමිත සතුට තාරුකා අත්වින්දාය….


දැරියන් දුටු දේවින්ද මද සිනාවක් පා අති සාමාන්‍ය දෙයක් කරනා මෙන්  කුඩා ගුලියක් තාරුකා අතට පත් කරමින්, නොනැවතී ඇවිද ගියේය.


තත්පරයකට ඔහු ගේ ඇඟිලි තුඩු කෙල්ල ගේ අත්ලේ ගෑවිණි.


දෙවින්දගේත් තාරුකාගේත් අත් ගෑවුනේ ප්‍රථම වරටය. තමන් ට කරන්ට් වදිනවා කෙල්ලට දැනුනි.
මේ හුවමාරුව දැක්කේ තාරුකා ගේ යෙහෙලියන් පමණය.
කෝ බලන්න කොල්ලා ඉස් ඉස්සෙල්ලාම මොනවාද දුන්නේ කියලා…. සඳුනි දේවින්ද දුන් ගුලිය කෙල්ල ගෙන ඩැහැ  ගත්තාය
එයට  විරුද්ධ වීමට තාරුකාට නොහැකි විය.. ඇය තාමත් ගල් ගැසිලාය…
චොක්ලට් වෙන්න ඇති… ගල් ඉබ්බී සඳුනිට පන්දම් අල්ලන්නීය.


තාරුකා තවමත් වූ දේ කුමක් දැයි අදහා ගත නොහැකිව බලා සිටිද්දීම සඳුනි දේවින්ද දුන් ගුලිය  විවුර්ත කළාය.


කෙල්ලන් ගේ මුහුණු ඇඹුල් වනවා තාරුකා දැක්කාය. එහි වුයේ කුඩා  සබන් කැබැල්ලකි.
තාරුකාටම සබන්  කැබැල්ල ආපසු දුන් කෙල්ලෝ මහ හඬින් සිනා සෙන්නට වුවේය…
වයිට් චොක්ලට් ද දන්නේ නැහැ තාරු… සඳුනි කෙල්ලව මඩවයි ….
අඩු තරමින් ලක්ස් කෑල්ලක් වත් දුන්නනම්..නේද තාරු… ගල් ඉබ්බියද එකතු වෙයි…


කෙල්ල දේවින්ද දුන් සබන් කැබැල්ල තමා අතේ ගුලි කර ගත්තාය.
දේවින්ද මේ හදිසියේ පැමිණ සබන් කැබැල්ලක් දී ආපසු ගියේ ඇයි දැයි කෙල්ල දන්නේ නැත… ඇය දන්නේ එකම එක දෙයකි… මේ දේවින්ද අයියා පළමුවෙන්ම ඇයට දුන් දෙයයි… එය ආදරයෙන් රැකගැනීම ඇය ගේ යුතුකමයි.


සිසු සිසුවියෝ කාය ව්‍යච්චේද සාලාවට ඇතුළු විය. සැර බෙහෙත් ගඳ නාසය කඩාගෙන  යයි… සමහර ළමුන් ට එය ඉවසා සිටීමට ඉතා අපහසු වගේය.


සාලාවේ පේලියට කැඩෑවර් තබා තිබුනේය. මල සිරුරු නරක් නොවන ලෙස බෙහෙත් ගල්වා පිලියෙල කරද්දී එවායේ පියවි ස්වරූපය වෙනස්වී සම සහ මාන්ශ පේශී ඇට කටු වලටම ඇලී විකෘති පෙනුමක් ඇති වේ. ඕනෑම කෙනෙකුට එම දර්ශනය පළමු වරට දුටුවාම  සිතට එන්නේ කම්පනයකි.


ඕක ටිකක් කල් යනකොට පුරුදු වෙයි… . තාරුකා සඳුනි ට කීවාය.


එදා ව්‍යච්චේද ප්‍රායෝගික පන්තිය පන්තිය බාරව සිටියේ ජෙෂ්ට කතිකාචාරිනී නීටා ජයසිංහ  මහත්මියයි.
ඉතා කරුණාවන්ත කාන්තාවක් වූ ඇය මුල් පැය භාගය ගත කලේ කම්පනයට පත් ව සිටිනා නවක සිසු සිසුවියන් යථා තත්වයට පත් කිරීමටය.
ඉන් පසු ඇය එක එක කන්ඩායමට කැඩෑවරය බැගින් බෙදා දී, එදා කල යුතු ක්‍රියාකාරකම පැහැදිලි කර පිටව ගියාය.


නවකයෝ  කාය ව්‍යච්චේදය පටන් ගත්තහ.


කැඩෑවරය බාරගෙන එය කපා කොටා අද්‍යයනය කරනා කණ්ඩායම හඳුන්වන්නේ "බොඩි ග්රූප්" කියාය. සෑම කැඩෑවරයක්ම ට්‍රොලියක තබා ඇත. ට්‍රොලිය ලඟම කපා කොටා ඉවත දමන මාන්ස පේශී ආදිය දැමීම සඳහා වෙන් වූ බාල්දියකි. ට්‍රොලිය වටා රවුමට බොඩි ග්‍රූප් එකේ සිසු සිසුවියන් හට පැනවූ ආසනය.


තාරුකා සහ ඇය ගේ යෙහෙලියෝ එකම බොඩි ග්රූප් එකට වැටුණි. ඔවුන්ට ලැබුණු කැඩෑවරය වටා හිඳ ගෑනු ළමෝ එදාට නියමිත අත් පත්‍රිකාව කියවුවෝය. එදින සිදු කල යුතු කැපුම් සහ හඳුනාගත යුතු ශරීර කොටස අත් පත්‍රිකාවේ සඳහන් වේ.


ටික වෙලාවකට පසු ජෙෂ්ටයෝ පැමිණ නවකයන්  හට රැග් කිරීම පටන් ගත්හ. ලස්සන, හොඳට ඇඳ පැළඳ පෙනුමකට සිටි කෙල්ලන් ටික අත සෝදන සින්ක් එක වෙත ගෙනගිය ජෙෂ්ටයෝ මල මිනී කපා අත සොදගන්නට පාවිච්චි කල සබන් ගා මුහුණ සෝදා ගන්නට අණ කළහ.


ගෙදර දී නියුට්‍රොජිනා ෆෙෂල් වොෂ් ගා මුහුණ සෝදන දැරියන් හට  මාස කීපයක් පරණ මල මිනී කපා අත සෝදන්නට පාවිච්චි කල සබන් ගා මුහුණ සොදන්නයි කීම  ඉතාම හිරිකිත ක්‍රියාවකි. නවක ශිෂ්‍යාවකට වෛද්‍ය පීටයේ දී ලැබෙන අමානුෂිකම වධයකි .


පළමුව සබන් කැටය අතට ගත් දැරිය වහා එය බිම දමා ඔක්කාරය කරමින් සාලාවෙන් පිටතට දිව ගියේය.
අසරණ දැරියන්  කීප දෙනෙකු යටි සිතින් ජෙෂ්ටයන් ගේ අම්මලාට සාප කරමින් මල මිනී කපා අත සොදගන්නට පාවිච්චි කල සබන් ගා මුහුණ සෝදා ගන්නවා තාරුකා  දුටුවාය.


දවල් කෑ දේ  කුස තුල  නලියනවා තාරුකාට දනුනාය. ඉක්බිතිව  පැමිණියේ ඇය ගේ වාරයයි.


මහ හදිසියකින් පැමිණ දේවින්ද අයියා අලුත් සබන් කෑල්ලක් තමා අතට පත් කලේ අයි දැයි කෙල්ලට හොඳහැටි වැටහුනේ  එවිටය….


තමා ගැන මේ ලෙස සිතමින් කරදර වන කොල්ලා ගැන සිතනා විට උනන්නේ උණු කඳුළුය.
ජෙෂ්ටයන් හිතන්නේ කෙල්ල මිනී කපා අත සොදගන්නට පාවිච්චි කල සබන් ගාගන්න කැතේ හඬනවා කියාය.


ඔයා මා හින්දා මෙච්චර කරදර වෙනවා මට දරා ගන්නා බැහැ දේවින්ද අයියා… කෙල්ල සිතුවේ අතේ ගුලි කර ගෙන සිටි සබන් කෑල්ල ඔතා තිබූ කොලයෙන් එලියට ගන්නා අතරය.


ජෙෂ්ටයන් ට නොපෙනෙන සාලාවේ තිබු පාවිච්චි කල සබන් කෑල්ල වෙනුවට දේවින්ද දුන් සබන් කෑල්ල මාරු කල  ඇය මුහුණ සේදීමට පටන් ගත්තාය. ජෙෂ්ටයන් දත් මැදගෙන බලා සිටියේ තාරුකා අප්පිරියාවෙන් හඬනවා දකින්නටය… ඒ වෙනුවට කෙල්ල විනාඩියක් පමණ මුළු මුහුණම වැසෙන පරිදි සබන් ආලේප කරයි…


උඹට පිස්සුද යකෝ… ජෙෂ්ටයෝ තාරුකා ගෙන් අසති…  ඔන්න ඔය සබන් ගෑවිල්ල නවත්තාපන්.. නැත්තං උඹ මුළු ඇගේම  සබන් ගාගනී…


ලක්ස් කෑල්ලක් ගා ගෙන මුහුණ සෝදා ගත්තාටත් වඩා කෙල්ලට සනීපය.
එවර නම් ඒ ලස්සන ඇස් දෙක දිලිසුනේ කඳුළු නිසාය.


තමන් ගේ සිතේ පහල වන හැගීම්  ගැන කෙල්ලට තේරෙන්නේ නැත. ඇය දේවින්ද අයියාට ආදරෙයි කියා නැත. ආදරෙයි කියා සිතාවත් නැත. දේවින්ද අයියා ගේ හිතේ ඇය ගැන ඇත්තේ මොන වගේ හැගීමක් ද කියා කෙල්ල දන්නේ නැතඇය දන්නේ එක දෙයක් පමණි. දේවින්ද අයියා වෙනුවෙන් තමාට ඕනෑම දෙයක් කල හැකි බව පමණය.


තාරුකා දේවින්ද දුන් අලුත් සබන් කැබැල්ලෙන් මුහුණ සෝදනවා අනෙක් දැරියන් ද දුටුවෝය. දේවින්ද අයියා හදිසියේම කොහෙන්දෝ සිට පැමිණ  සබන් කැබැල්ලක් දුන් හේතුව දැරියන් ට තේරුණි.
තාරුකා ඇගේ සබන් කෑල්ල අනෙක් දැරියන් ගේ පාවිච්චියට  දුන්නාය. වැඩි කලබලයක් නැතිව ඔවුන් ද තාරුකා දුන් අලුත් සබන් කැටය ගා මුහුණ සෝදා ගත්තේ යටි සිතින් දේවින්ද ට පින් දෙමිනි…


අන්තිමට සබන් ගෑවේ සඳුනිය. ඇයටත් මේ අමුතුම කොල්ලා ගැන පුදුමය. ඔහු මුලින් ම චොක්ලට් එකක් නොදීම ගැන තමා කී කතා මතක් වී ලජ්ජා වුවාය.


පවු, කොල්ලා දුවගෙන ඇවිත් තියෙන්නේ  අපිව මතක් වෙලා… සඳුනි සබන් කැබැල්ල නැවත තාරුකා අතට දෙමින් සිතුවාය.


තාරුකාට දැන් මේ සබන් කැබැල්ල මැණිකකට වැඩියෙන් වටින්නේය.
ඔයා මට ඉස් ඉස්සෙල්ලාම දුන්නු තෑග්ග මම  මගේ පණ වගේ පරිස්සම් කරනවා දේවින්ද අයියා … කෙල්ල එසේ සිතුවේ සබන් කැබැල්ල තම ලේන්සුවේ ඔතා ගන්නා අතරය.



Wednesday, July 9, 2014

14. දහ හතරවන කොටස :මගුල් කපුවෙක්

 
13 වන කොටස : රන් වන් රන් වන් මගේ රන් කිකිලී ... 

 

චූ ප්‍රැක්ටිකල් එක වෙලේ තාරුකා ගේ වැඩ බන්කුවට එහායින් වූ වැඩ බන්කුවේ පරීක්ශන කිරීම සඳහා කඩා පාත් වී තිබුනේ නවක කන්ඩායමේ වයසින්ම වැඩි ජෙශ්ටයාය. ඔහු වඩාත් ප්‍රසිද්දව සිටියේ "ආරෝපිත වෙටා" යන නමිනි.
ආරෝපිත වෙටා වනාහී තාල වර්ගයේ සතෙකි. එහෙම කියන්නේ ඔහු ගේ කතාව, ගමන, සිනහව සහ එකී මෙකී නොකී සියලුම චලනයන් සිදු වෙන්නේ ඔහුටම ආවේනික වූ අමුතුම තාලයකට නිසාය..
ඔහු තාරුකාලාට වඩා අවුරුදු හතරක් පමන වැඩිමහලුය. උසස් පෙල පලමු උත්සාහයෙන්ම පශු වෛද්ය පීටයෙන් සරසවියට ඇතුලත්වීමට ඔහුට වාසනාව ලැබුනි. ඒ උවද නෑදෑ හිතමිතුරන් ගේ අවවාද නිසා වෛද්ය පීටයට ඇතුල් වීම බලාපොරොත්තුවෙන් නැවත උසස් පෙල කලත් එවර ඔහු තේරුනේ විද්යා පීටයටයි.
එහිදී ඔහු කලේ ඊලඟ වසරේ උසස් පෙල මගහැර රස්තියාදු ගැසීමයි.
එලෙස රස්තියාදු ගසන කාලයේ දී දකිනා කියනා හැමෝටම තමා පේරාදෙනි සරසවියේ පශු වෛද්ය ශිශ්යයෙකු බව ඔහු කීවේ පපුව ඉස්සරහට දමා ය. මේසේ සම්පූර්න වසරක් ආඩම්බර කතා කියමින් රස්තියාදු ගැසූ ඔහු ගේ හැසිරීම දුටු සම කාලීන සිසුවෝ කීවේ මේකා "වෙට් ෆැකල්ටි සිලෙක්ට් උනු නිසා ආරෝපනයකට ලක් ව ඇති" යි කියාය.
ඊලඟ වසරේ නැවත තුන් වන උත්සාහයෙන් උසස් පෙල කර දන්ත වෛද්ය පීටයට තේරෙද්දී "ආරෝපිත වෙටා" යන නම රෙජිස්ටර් වෙලා අහවරය.
පේරාදෙනි විශ්ව විද්යාලයේ වෛද්ය, දන්ත වෛද්ය හා පශු වෛද්ය පීට වල ඉගෙනගන්නා බොහො ජේශ්ටයෝ තමන් ගේ පාසල් පන්ති මිතුරන් හා ටියුශන් මිතුරු මිතුරියන් නිසා ආරෝපිතයාට නවක වද ලැබුනේ නැත. ඒ නිසාම ඔහු තම සමාන්තර නවක සිසු සිසුවියන් හට පොඩි පොඩි ආඩම්බර කෑලි දැමීමට පුරුදුව සිටියේය.
නවකයන් ගේ පෞද්ගලික තොරතුරු ජේස්ටයන් වෙත පැවසීම ආරෝපිතයා විසින් ගෘහ කර්මාන්තයක් ලෙස පවත්වාගෙන ගිය බව අතනින් මෙතනින් කට කතා ද පැතිර තිබුනි.
කොහොමටත් තාරුකා හට ආරෝපිත වෙටා සමග කිසිම ගනු දෙනුවක් තුබුනේ නැත. එම නිසාම තම වැඩ බන්කුවට එහා බන්කුවට ඔහු ගේ ආගමනය ගැන ඇය දෙවරක් නොසිතුවාය.
තාරුකා චූ ප්‍රැක්ටිකල් එකේ අමාරුම කොටස වන osazone පරීක්ශාව පටන්ගනිත්දී ආරෝපිතයා කෙල්ල ලඟට ඇදී ආවේ තාලයටය. ඇය ආරෝපිතයාට මද සිනාවක් නගමින් ම ජෛවරසායන දෙපාර්තමේන්තුවෙන් සපයා දී තිබුනු අත් පත්‍රිකාවේ උපදෙස් අනුව පරීක්ශාව ඉදිරියටම ගෙන ගියාය..
ආරෝපිතයා සුපුරුදු පරිදි ඔහුටම ආවේනික තාලයකට අනුව රැල් බුරුල් හරීමෙන් පසුව කෙල්ලව කතාවට පටලවා ගන්නට උත්සාහ කලේය. සබාවෙන් අවසර ගෙන හරි බරි ගැසුනු ඔහු පාසැලේ පන්ති මිතුරෙකු ගැන පම්පෝරි ඇදබාන්නට පටන් ගත්තේය
එම මිත්‍රයා ඉගෙනීමට අති දක්ශයෙකි. දන්ත වෛද්ය පීට තුන් වෙනි වසරේ ඉගේනීම කරයි. ගොඩාක් හැන්ඩ්සම් ය. සරසවි බාසාවෙන් ම කියනවා නම් "බොග හැන්ඩියෙකි. මීටර සීය ධාවනයේ යෙදෙන ක්‍රීඩකයෙකි. තවම කෙල්ලෙක් ඇඟේ වත් ගෑවී නැති නාග කන්යාවකි.
දාහකින් වත් එහෙම කොල්ලෙක් හොයා ගැනීමට නොහැකිය. බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ය.
අනේ ඉතින් එවන් පෙර පින් කල කොල්ලන්ටත් ප්‍රශ්න නැත්තේම නොවේ. ඇත්තටම කියනවානම් පොඩි ප්‍රශ්නයක් ඇත. කරුමෙකට වගේ පහුගිය දින දෙක තුන තුල මෙම උගත් ගුනවත් අහවල්වත් මිතුරා නොකා නොබී උගුඩුවෙකු සේ සිටී.
තාරුකා ආරෝපිත වෙටාට ඔහේ කියවන්නට දී තම පරීක්ශනය කරගෙන ගියාය. බොහෝ සිසු සිසුවියන් හට පලමු වරට ලබා ගත නොහැකි osazone ස්පටික තම පරීක්ශන නලයේ කහපාටින් දිලිසෙමින් ගොඩනැගෙනා අන්දම ඈ බලා සිටියේ අපමන සතුටකිනි.
ඇය නැවත පොලොවට වැටුනේ ආරෝපිතයා ඔහු ගේ මිතුරා ගැන කියූ අවසාන වැකියටයි. "මගෙ යාලුවාගෙ නම චානක ගමගේ.... ඌ නොකා නොබී ඉන්නේ ඔයා ගැන හිත හිත....."
තමන් ඇතුලු සෑම නවක ගැහැනු ලමයෙකුටම හිරිකිත කුනුහරුප කී හිරිකිතයා ගෙ නම චානක ගමගේ බව තාරුකා දැන ගත්තේ පලමු දිනයේමය.
ඊටත් වඩා ඔය කී නොකා නොබී ඉන්නා බෘන්ග රාජයා විනාඩි කිහිපයක පෙර දිවා ආහාර විවේකයේදී තම කන්ඩායමේම නවක සිසුවියක්ට හිරිකිත කතා කියනවා ඇයටද නොඇසුනා නොවේ.
චානක ගමගේ නැමති චරිතය තමා ගැන වැඩි අවදානයක් දක්වන බව මේ ටික දිනයේදීම ඇය දැන සිටියාය.
පලමු දිනයේම ඔහු ගේ මුවින් පිටවූ අපමන පිලිකුල් සහගත කතා ඇසූවෙකුට ඔහුට පෙම් කිරීම පසෙකලා අඩු තරමින් ඔහු කෙරේ පහන් සිතක් ඇති කර ගන්නේ කෙලෙසද?
එවන් හිරිකිතයෙකු හට පෙම් කරනවාට වඩා මරනය යහපත්ය.
තම සිතේ චානක ගමගේ ගැන තිබෙනා සත්‍ය හැඟීම් ඔහු ගේ මිත්‍රයෙකු වූ ආරෝපිතයා සමග බෙදා හදා ගැනීමට තාරුකා කමති වුනේ නැත. ඒ වෙනුවට ඇය හිරිකිතයාගේ මිත්‍රයා වූ ආරෝපිතයාට කීවේ "එහෙනම් එයාට නොකා නොබී මැරෙන්න තමා වෙන්නේ " කියා පමනක්ය.
නොකෙරෙන මගුලකට තම වෙලාව කැපකල ආරෝපිතයා කෙල්ල ලඟින් නික්ම ගියේ බලහත්කාරයෙන්ම ඇයගේ osazone ස්පටික ටිකකුත් හිස් පරීක්ශන නලයකට දමාගෙනය.
සාමාන්‍යයෙන් චූ ප්‍රැක්ටිකල් එක මෙහෙයවන්නේ ජෛවරසායන මහාචාර්ය තුමාය. එතුමා ප්‍රායෝගික පන්තිය අවසානයේ සෑම වැඩ බන්කුවකටම පැමින ලකුනු දමනා බව මිතුරු ජේශ්ටයන් ආරෝපිතයා හට පවසා තිබුනි. එවැනි ගුරු මුශ්ටි නවකයෝ දන්නේ නැත.
තම සගයන් වූ ජේශ්ටයන් උගන්වා තිබූ ලෙසම තාරුකා ගෙන් පැහරගෙන ආ osazone ස්පටික වලින් ටිකක් වීදුරු ස්ලය්ඩ් එකක රුවා කවර් ස්ලිප් එකකින් වසා පරීක්ශන නල පේලිය ලඟින් තබන්නට ආරෝපිත වෙටා අමතක කලේ නැත.
එවැනි ප්‍රදර්ශන විජ්ජා ගැන නොදත් අනෙක් නවක සිසු සිසුවියෝ තමන් ගේ පර්යේශන ප්‍රතිපල වීදුරු නල වල ම තිබෙන්නට හැරියහ.
පරීක්ශනය අවසානයේ මහාචාර්ය තුමා සැම සිසු සිසුවියෙක් ලඟටම පැමින ඔවුන් ගේ පර්යේශන වල ප්‍රතිපල බලා ලකුනු සටහන් කලේය.
තාරුකා තම සරසවි දිවියේ පලමු කම්පනයට ලක් වූයේ එහිදීය.
පර්යේශන නොකලාට ආරෝපිතයා අනෙක් අය හට ප්‍රතිපල ලෙස ලැබුනු අවක්ශේප, වර්න වෙනස්වුනු ද්‍රාවන සහ නොයෙක් ස්පටික ටික ටික හොරා ගෙනවිත් තම වැඩ බන්කුවේ මනරම් ලෙස ප්‍රදර්ශනයට ලක් කර තිබුනි..
මහාචාර්ය තුමා ආරෝපිත වෙටා ගේ ප්‍රතිපල මහා ඉහලින් වර්නනා කලේය. ආරෝපිතයා තාරුකාගෙන් පහැරගෙනවිත් වීදුරු කදාවට රුවා තිබූ osazone ස්පටික අන්වීක්ශයකට නඟ්වා මුලු පන්තියටම පැමින එය නරඹන්නැයි ඔහු විධාන දුන්නේය.
තාරුකාට චූ ප්‍රැක්ටිකල් එකට ලකුනු 80ක් ලැබෙද්දී ඇගෙ ප්‍රතිපල හොරාගත් ආරෝපිතයාට ලකුනු 100ක් ම ලැබුනි.
අපි ඇත්තටම රැග් වෙන්නෙ සීනියර්ස් ලා ගෙන් ද ස්ටාෆ් එකෙන් ද? තාරුකා ගේ හිතට නැගුනේ එවැනි හැඟීමකි.

*******************
එදා සවස තාරුකා මිත්තාවට පැමිණියේ පාවී ගෙන වගේය. ආරෝපිතයා තමන් ගේ osazone ස්පටික සොරා ගැනීම, නොයෙකුත් ජේශ්ටයන් කල නවක වද ආදිය ඇයට අමතකය.
චතු සමග දේවින්ද අයියා ගේ විස්තර කිව යුතුය. හැකි නම් මනෝජා අක්කා ගෙන් දේවින්ද අයිය ගැන තව විස්තර දැන ගැන යුතුය... සැම දේම කැරකෙන්නේ එකම නමක් කේන්ද්‍ර කරගෙනය...
**********************
නවක සිසු සිසුවියන් සඳහාම වෙන්වූ නොයෙක් අන්දමේ විකාර මැද සතියේ දින එකින් එක ගෙවී ගියේය.. දහවල් කෑම විවේකයේදී තමා සොයා එන නුවර කඩේ දැරියන් වදකයන් හට මුහුන දීමේ ආත්ම ශක්තිය සහ නිර්බීත භාවය සෙමෙන් සෙමෙන් ගොඩ නගා ගන්නවා දෙවින්ද දුටුවේය.
සෑම විටම කෙල්ලන් රැලක් වට කරගෙන ඉන්නා ජෝකරයෙකු වන්නට දේවින්ද කැමති නැත. මේ සතියෙන් පසු තාරුකා හා ඇය ගේ යෙහෙලියන් ගේ  "සිවිල් ආරක්ෂක භට" තනතුර අත හැරීමට දේවින්ද සිතා ගත්තේය. ගෑනු ළමයින් සය දෙනාගේ භය සහ චකිතය ටිකින් ටික අඩු වන ලකුණු ඔහුට දැනේ. එය හොඳ ආරම්භයකි.
මේ සුමානේ ඉවර වෙනකම් විතරයි මම ලන්ච් එක වෙලේ කැන්ටිමට යන්නේ. කෙල්ලන් ට ඔනෑ නම් මගේ ගාවට එවි නේ... දේවින්ද තීරණය කළේය.
දැරියන් ටිකද ඔහු දුටු හැම විටම දේවින්ද ළඟටම දුව එයි. ඒ එන අතරතුර නොයෙකුත් ජෙශ්ට සිසු සිසුවියන් ඔවුන් හට තමන් කෑම ගන්න මේස වල නවතින්න යයි විධාන කරති. ඒ හැම විධානයකින්ම බේරී දේවින්ද සිටිනා මේසය කරා පැමිනීමට තරම් දැන් ඔවුන් දියුනු වෙලාය.

මොකා රැග් කරන්න ආවත් දැන් කෙල්ලෝ ටික භය වෙන්නේ නැහැ...දේවින්ද සිතුවේ උපේක්ශාවෙනි.
 



බොහෝ සිසු සිසුවියෝ කැන්ටිමට යද්දී එද්දී තාරුකා ඇතුලු නුවර කඩේ කෙල්ලන් තමා ලඟ තබාගනිමින් ආහාර ගන්නා දේවින්ද ළඟ නැවතී ඔහු හා කතා බහ කරති. එම ජෙෂ්ට සිසු සිසුවියෝ නැවත මහ මග දී දැරියන් දුටුවාම, කුණුහරුප හෝ කට කැඩෙන කතා නොකියාකෙල්ලන් ටිකට කරදර නොකර යන්නට හරිති.

සහෝදර සිසු සිසුවියන් අතර දේවින්ද ජනප්‍රිය පුද්ගලයකු බවත් ඔහුට ඔවුන් එක්තරා ලෙසකට ගෞරව කරන බවත් මේ දින කීපයේ දී  දේවින්ද අභියස සිටියදී කෙල්ලට තේරුනාය.







කුරුණෑගලින් පැමිණි තිවංක තාරුකා ගේ කණ්ඩායමේ ම සිටි නවක සිසුවෙකිවැඩි උස මහත නැති කුඩා කොල්ලෙකි. සරසවි පැමිණි මුල්  දවසේදී ඔහු ඉතා ලස්සනට ගීත ගායනා කරනවා තාරුකා අසා අත. දැන් කොල්ලා පන්තියේදී ගීත ගයන්නේ නැත. ඔහේ බලාගත් අත බලාසිටී.
දිනක් තිවංක ඉතාම කනගාටුවෙන් සිටිනවා දුටු තාරුකා ට දුක සිතුනි... ඇය ඔහුට කතා කළේ එහෙයිනි.මොකද තිවංක... ඔයාට කරදරයක් ද...
කියල වැඩක් නැහැ තාරුකා... මේ සීනියර් යක්කු මාර්ස් හෝල් එකේදී මාව මරාගෙන කෑවෙ නැති ටික විතරයි... තිවංක ගේ ඇස් කඳුලෙන් දිලිසෙයි.
අර දේවින්ද අයියා නැත්නම් මම මෙලහටත් මේක දාල ගිහිල්ලා...
එකනම් ඇත්ත මචං .... අසල සිටි දනුෂ්කත් කියයි... ඊයේ මහා රෑ මාව පැයක් විතර බාත් රූම් එකේ තියාගෙන නාවනකොට, දේවින්ද අයියා තමා ඇවිත් මාව ආපහු කාමරේට එක්කම් ගියේ....
මගේ කාමරේ ලයිට් එක පිච්චුනාම දේවින්ද අයියා සබ් වොර්ඩන් ට කියල අලුත් ලයිට් බල්බ් එකකුත් ගෙනත් දුන්නා.... නැත්නම් මම තවම අන්දකාරේ... පැත්තකින් පැමිණ සෙනකත් කතාවට සම්මාදම් වුනේය.
ගෑනු ළමයින් ට වඩා පිරිමි ළමයින්ට  වැඩිපුර නවක වධය ලැබෙන බවත්, බොහෝ නවකයන් ව දේවින්ද අයියා වධයෙන් බේරා ගන්න බවත් තාරුකාට පැහැදිලිය.
***********************************
පිහිනීමට නොදත්තෙකු මියෙම්වා රැකෙම්වා කියා ගැඹුරු දියට පනින්නේ යම් සේද, නවක සිසු සිසුවියන්ද ගැඹුරු දියට පැන පිහිනීම පුරුදු විය යුතුය. තමන්ගේ ආරක්ෂාව තමන්සලකා ගත යුතුය. නැත් නම් කම්මුතුය.
සතියේ අවසන් දිනය දේවින්දට කුඩා සාන්කාවක් ගෙන දුනි... නුවර කඩේ කෙල්ලන් ගේ සිකියුරිටි ජොබ් එක කරන අවසාන දවසයි. හිතුවාට වඩා තමන් කෙල්ලන් හය දෙනා ගේ සමාගමය ප්‍රිය කරනා බව දැන් ඔහුට සහතිකය. එයිනුත් දිලිසෙන ඇස් ඇත්තී ගැන ඔහුට නිතර නිතර සිහියට නැගේ. ලබන සතියේ සිට දැරියන් හමු නොවී සිටීම මේ හැම රෝගයකටම හොඳම ප්‍රතිකාරය බව දේවින්දට සිතේ.
සිකුරාදායින් පසු දිවා කල තමා කැන්ටිමට නොපැමිණෙන බවත්, පරෙස්සමින් සිටිය යුතු බවත් දේවින්ද දැරියන්ට දැනුම් දුන්නේය. එය ඇසු දැරියන් හය දෙනාගේම ඇස් වල කඳුළු ඉනුවේය. ඔවුන් සියලු දෙනාම දේවින්ද අයියාට ගරු කරති... වධයෙන් බේරා ගත්තාට පින් දෙති.